Blog Post

Medicare Health News > Health > බෝනොවන රෝග පිළිබඳ ජාතික සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වෙයි

බෝනොවන රෝග පිළිබඳ ජාතික සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වෙයි

කොළඹ – බෝනොවන රෝග පාලනය සහ නිවාරණය කිරීමේ ඉදිරි පියවරයන් තීරණය කිරීම සඳහා බෝනොවන රෝග පිළිබඳ ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (24) පස්වරුවේ රැස්විය.

මෙම සභාව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රධාන කොට අනෙකුත් සියලු අමාත්‍යාංශ එක්කරමින්, බෝනොවන රෝග පාලනය හා වළක්වා ගැනීමේ ප්‍රතිපත්ති, සැලසුම් සහ ක්‍රියාමාර්ග සකස් කිරීමේ ප්‍රධාන විද්වත් සමුළුවක් ලෙස ක්‍රියා කරයි.

මෙම අවස්ථාවෙදී ශ්‍රී ලංකාවේ පිළිකා පාලනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සිදුකළ ඇගයීමක ප්‍රතිඵල ඇතුළත් විශේෂ වාර්තාවක්ද සභාවට භාර දෙනු ලැබීය.

රැස්වීමේදී පසුගිය වසර කිහිපයේ දී සිදුකළ සහ දැනට ක්‍රියාත්මක වන බෝනොවන රෝග පාලන වැඩපිළිවෙළ සමාලෝචනය කරමින්, හෘද රෝග, ආඝාතය, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය, මානසික රෝග ආදියට එරෙහිව ගත යුතු ඉදිරි පියවරද විමර්ශනය කෙරිණි.

ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය අනෙකුත් අමාත්‍යාංශ හා එක්ව බෝනොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දීර්ඝකාලීන ක්‍රියාමාර්ග සැලසුම් සකස් කළ යුතු බව සභාව තුළ විශේෂ අවධාරණයකට ලක් විය.

මෙම රැස්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රධානත්වය දුනි. එමෙන්ම අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තුමේන්තු නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, යුන්සෙෆ්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

Follow the channel on WhatsApp: whatsapp.com/channel/0029VbAfhPmJf05bul6c8Q3g

Leave a comment

Your email address will not be published. Required fields are marked *